පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොලේ කජූ
කුමාරෝද පිටු දන්දෙති එයින් මතූ
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
රන්මසු පට පිලි අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-මහින්ද චන්ද්‍රසේකර
සංගීතය-රෝහණ වීරසිංහ
හෙතෙම උගන්වන්නටම වචනයේ පරිසමාප්තාර්තයෙන්ම උපන්නෙකි.ඔහුගෙන් අකුරු කලවුන් අද උඩුමාලේ සුඛෝපභෝගී ජීවිත ගතකරයි.එය ඇසීමද ඔහුට සැපතකි.නමුදු ඔහුට තරුපහේ දිවියක් උරුම නැත.උරුම කරගන්නට උවමනාවක්ද නැත.සුපුරුදු ගුරු නිවහන ඔහුගේ කුටුම්භයට සෙවන සදයි.මේ ගුත්තිලයන්ගෙ ගෝලයින් කෙතරම් ඉහළින් වැජඹුනද ඔහුට උරුම කටු කොහොළින් පිරුන ජීවිතයකි.හුදු ආටෝපයින් පිරි පුහු දිවියකට වඩා මේ දිවිය සැපයැයි සිතූ ඔහු අදටත් පොඩිවුන්ට අකුරු කරවයි.පුහු වාණිජත්වයක් නැති නිරහංකාර ගුරුභවතා අදත් ගෝල බාලයින්ගේ ඇස් පාදයි.
ඒ ගෝලයින්ද දවසක හිනිපෙත්තටම නගිනවා ඇත.අපෙ ගුරුතුමා ඔවුන්ගේ දෑස් පෑදූ උත්තමයා වන බැවින්ද ඔවුන්ගේ ලෝකයේ අපෙ ගුරුතුමාලා බොහෝ හිඟ බැවින්ද උන්ගේ දරුවන්ට අකුරු කරන්නට අපෙ ගුරුතුමාලා හොයන්ට බොහෝ දුෂ්කර බැවින්ද කල් ගතවී හෝ අපෙ ගුරුතුමා උන්ගේ ජීවිතයේ ගුරු තරුව වනු ඇත.මේ හෙළයේ පූජනීය ගුරුතුමාය.
අපේ ජීවිතවලද එක් වරක් හෝ මෙවැනි උතුමන් හමුවී ඇත.නැතිනම් අපට මිනිසුන් වන්නට අමාරුය.අද අප ගතකරන ජීවිත අතීතයේ අප ලැබූ ගුරුහරුකම් වල ප්‍රතිඵලයකි.මහින්ද චන්ද්‍රසේකරයන්ගේ උස් වූ පද රචනය උපහාර දක්වනේ එවැනි උතුමන්ටය.සුනිල් එදිරිසිංහයන් තම ගායන ප්‍රතිභාවෙන්ද රොහණ වීරසිංහයන් තම සංගීත කෞෂල්‍යයෙන්ද අලෝකමත් කරන්නේඑවැනි උතුමන්ගේ ගුණ කදම්භයයි.
ලාංකීය සිත් සතන් ආනන්දයෙන් වින්දනීය කල සුන්දර වූ ගීත නිර්මාණයකි.
ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න...
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ..