අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එලිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ
ගායනය-ටී.එම්.ජයරත්න
පද රචනය-මාලිනි ජයරත්න
සංගීතය-රෝහණ වීරසිංහ
උඹේ ලෝකෙ එලිය උනේ ස්නේහයෙනුයි අභිමානයෙනුයි.සෙනෙහෙ ගඟුල අම්මා වෙද්දී නුඹ ලෝකයට පියමැන්නේ මගේ අභිමානයත් එක්ක.වැටි වැටී ඇවිදින කාලේ මගේ සුළැඟිල්ලේ තිබ්බ හයියත් අරන් යෝධයෙක් වගේ ලොකෙට යද්දි දැනුන සතුට දන්න එකම කෙනා මම විතරයි.ජීවිතේ මහා ලොකු චන්ඩමාරුත එනකොට උඹව වැටෙන්න නොදී අල්ලගත්තෙ ඔය හෙවනැල්ළට මුවා වෙලා.පුතේ උඹ කවදාවත් දැක්කෙ නෑ මම පස්සෙන් හිටිය.
අම්මට ඔය පුංචි අතෙන් අල්ලන් යන්න දීල මම තනියම ගියේ ඔය දෙන්නට යන්න පාර හදන්න.ජීවිතය කටු ගොඩවල් වලින් පිරිච්ච වනාන්තරයක්.ඒ කැලේ පාර කපද්දි මගේ කකුල්වල කටු ඇනිල ලේ ගලපු වාර අනන්තයි.හැබැයි මම ඇඬුවෙත් නෑ.නැවතුනෙත් නෑ.මම කපපු පාර දිගේ ගිහින් උඹ ජයගන්නකොට මගෙ සතුටු කඳුලු ආවෙ උඹලගෙ අම්මගෙ ඇස් දෙකෙන්.මට කවදාවත් අඩන්න හයියක් තිබ්බෙ නෑ.පුතේ උඹ අඬනකොට මගෙ හිත දිරිමත් කරගත්ත උඹට හයිය දෙන්න.උඹ හිනාවෙනකොට මම හිතින් සතුටු වෙල උඹට සතුට විදඟන්න දුන්න. තාත්තගෙ ආදරේ ඒකයි..
ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න..