මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑවුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි..
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා
හිනැහෙන හැටි දුවේ
නුඹේ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරි වෙයි..
දුවේ නුඹ මගෙ...
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහඩිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නෙ ඒ අභිමානයයි
දුවේ නුඹ මගෙ..
ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය-රෝහණ වීරසිංහ
මගෙ පාළු ලොකේ සරසපු පුංචි කුමාරිකාව ඔයා.අද සුරංගනාවක් වෙලා මගෙ ළඟ වැඳවැටෙද්දි හිතේ දෝරෙ ගලා යන සතුටකුත් එක්ක හිතේ කොනක හැංගිලා තිබ්බ පොඩි ආඩම්බරකමකින් මගෙ ඇස් දෙකත් එක්ක පිරිල ගිහින් මගෙ දුවේ.පුංචි කාලේ මගෙ ළඟට ඇවිත් හුරතල් වෙවී කිචි බිචි ගාපු ඔයා අද සේද සළුපිලිවලින් සැරසිලා අර පරණ හුරතල් හිනාවත් එක්ක ලොකු අභිමානෙකින් කුල කුමාරයෙක්ගේ අතේ පැටලිල.මගෙ මුළු ප්‍රාණයම වෙච්ච ඔයා මගෙ අභිමානෙත් හිතට අරගෙන තියන තියන අඩියක් ගානේ මගෙ හිත පිරිල ඉතිරිල යනව.
ඔය ලොකෙට පේන සුදු මූණට යටින් ඊටත් වඩා ලස්සන දෙයක් ඔයා ලඟ තියෙනව.ඒක සුවඳ හමන පෙති පිරිලා තියෙනා ලස්සනම ලස්සන මලකටත් වඩා ඔයාව ලස්සන කරනවා.ඔයාව සුවඳ කරනවා.හැමදාම කඳුළු අතරින් හිනාවෙන හයිය ඔයාට දුන්නෙ මම දුවේ.ඒ හයියත් අරන් තවත් ලොකයක් ලස්සන කරන්න ඔයා හෙට ඉඳන් පටන්ගන්නකොට මගේ ලේ දාඩිය වතුර වෙනකන් වෙච්ච මහන්සිය ඵල දරනවා.මගෙ ගෞරවය රකින, මගේ පරපුරේ අභිමානය රකින දුවේ නුඹට මම මගෙ හයිය දෙනවා.ඒ හයියත් අරන් ඔයා ලොකේ ලස්සන කරනකොට ඔයත් එක්ක හිනවෙන්න වගේම ඔයා අඬද්දි සනසන්නත් ඔයාගෙ තාත්ත ඔයාගෙ ලඟින් හැමදාම ඉන්නවා.ඔයාට සුබ ගමන් මගෙ දුවේ....
ගීතය බාගන්න මෙතනින් පිවිසෙන්න...